ඇස් වටේ කළු පැහැවීම වළක්වන භෞත චිකිත්සක ප්‍රතිකාර

ඇස් වටේ කළු පැහැවීම වළක්වන භෞත චිකිත්සක ප්රතිකාර

 

ඇස් වටා කළු පැහැ ගැන්වීම මුහුණේ සමේ ඇති වූ දුර්වර්ණ තත්වයක් යැයි බොහෝ දෙනා සිතති. නැතහොත් අපලයට යැයි ද සිතති. මේ නිසා විවිධ ආලේපන ගල්වමින් සමේ දුර්වර්ණ බව නැති කර ගැනීමට වෙහෙසෙන පිරිස එමටය. අපලය අවසන් වනතුරු සිටින අයද එමටය. මෙම තත්ත්වය පිරිමින්ට වඩා කාන්තාවන් සැලකිලිමත් වන්නේ මුහුණේ පැහැය අදුරු කිරීමටත්, වයසක බවක් පෙන්නුම් කිරීමටත් එය බලපාන නිසාය.
ඇස් වටා කළු පැහැගැන්වීම ළමා, තරුණ, වැඩිහිටි සෑම වයස් කාණ්ඩයකටම ඇතිවිය හැකිය. එය සමේ රෝගයක් හෝ අපලයක් නිසා ඇතිවන්නක් නොවේ. එය රෝගයක ලක්ෂණයකි.

ඇස් වටා කළු පැහැ ගන්නේ කෝඨරක හෙවත් සයිනස් (sinus) යනුවෙන් හිස් කබල ඉදිරිපසින් පිහිටි අස්ථිවලට සම්බන්ධ නාස් කුහරය වටා පිහිටා ඇති වාතය අඩංගු ප්‍රදේශය අවහිර වීමෙනි. මෙම ප්‍රදේශය වාතය ගමන් කිරීම සඳහා විවරව තිබිය යුතු වේ. එම විවර ඇතැම් විට අවහිර වී දිගු කලක් පවතින අවස්ථා තිබේ. එහි ප්‍රතිඵලය වන්නේ ඇස් වටා කළු පැහැ ගැන්වීමයි.

කෝඨරක අවහිර වීමට හේතු

කෝඨරක සමූහය එනම් ලලාට කෝඨර, පාටිරාභ කෝඨර, බිලාභ කෝටර සහ තුංඩිය කෝඨර සම්බන්ධ වී පවතින ශ්ලේශ්මල පටල ආසාදනයට ලක්වීම නිසා ශ්ලේශ්මල තරලය නාසය තුළට ගලා ඒම අවහිර වේ. එවිට කෝටරක තුළ පීඩනය වැඩි වේ. එම තත්ත්වය රෝගියාට දැනෙන්නේ අධික හිසරදය, නාසය දෙපස කළුවීම, ඇස් වටා ඉදිමීම, කළු පැහැ ගැන්වීම ලෙසටය. මෙය සාමාන්‍ය ව්‍යවහාරයේ පීනස රෝගය ලෙසටද හඳුන්වයි. මෙහි දී කෝඨරක කීපයක් හෝ සියල්ලම ආසාධණයට ලක්විය හැකිය. වැඩි වශයෙන් ආසාදනයට ලක් වන්නේ ලලාට හා කුංඩිය නම් කෝඨරයයි.

සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව සඳහා හේතුවන වෛරස් කෝඨර ප්‍රදාහයට මූලික හේතුව වේ. කෝඨරක විවරයන් අවහිර වීම සිදුවන්නේ ඉහළ ස්වසන මාර්ගය වෛරස් හෝ බැක්ටීරියා ආසාදනයට ලක්වීම ප්‍රතිඵලයක් ලෙසය. මෙසේ කෝටරය විවර අවහිර වීම නිසා කෝඨර වල තිබෙන ශ්‍රාව නාස් කුහරය තුළට ගලා ඒම නවතියි. මෙම තත්ත්වය කල්ගත වීමේ දී (එම ශ්‍රාවය ) බැක්ටීරියා ආසාදනයට ලක්වේ. 

කෝඨරවල ආසාදන ඇති වූ විට දක්නට ලැබෙන ලක්ෂණ

කෝඨරවල ශ්ලේශ්මල පටල ආසාදනය වී ප්‍රධාන රෝග ලක්ෂණ පහල වේ. එනම් නාසය අවහිර වීම, උදෑසන තදින් කිවිසුම් යාම සහ ඉතාම ඝනට කහ පැහැති හෝ ලා කොළ පැහැති සොටු දියර පිට වේ. කල්ගත වූ පසු මෙම කෝඨර වලින් උදෑසන කිවිසුම් යාමට අමතරව හිසරදය හුස්ම ගැනීමට අවහසුතාව, ඇස් පිහාටු ඉදිමීම, කස්ස සමඟ සෙම පිටවීම, දත්වල වේදනාව ඇස් කැසීම, ඇස් වටේ ඉදිමීම, වයස් භේදයකින් තොරව හිස කෙස් සුදු වීම වැනි ලක්ෂණ පහළ වේ. කල්ගත වූ පසු අස් වටේ සම සාමාන්‍ය මුහුණේ වර්ණයට වඩා කළු පැහැයක් ගනී. 

සමහරුන්ගේ මෙසේ කෝඨර ආසාදනයට ලක් නොවේ. එහෙත් ඇස් වටේ කළු පැහැ වේ. ඊට හේතුව ඉහත සඳහන් කළ කෝඨර ලක්ෂණ කිසිවක් දක්නට නොලැබුණද, සොටු දියට ගැලීම සිදු නොවුණද සාමාන්‍ය සෙම් ප්‍රතිශ්‍යාව නොවැළදුනද ඔවුන්ට තිබෙන්නේ කෝඨර අවහිරවීමය.
ඔවුන්ට ඉහත කිසිම රෝග ලක්ෂණ ඇති නොවුණත් නිතර නිතර අධික හිසරදය හට ගනී. ඔවූහු හිසරදයෙන් බොහෝ පීඩා විදිති. 

කෝඨරක දාහයේ ලක්ෂණ
හිසරදයක් නොමැතිව මෙම රෝගයට ගොදුරු වූවෝ සිටිති. ඒ තවත් කොටසකි. මේ අයගේ කෝඨරක අවහිර වීම නිසා ඇස් වටා කළු වීම පමණක් දැකිය හැකිය.

ප්රතිකාර
මෙම රෝග වලට මුල් කාලයේම ප්‍රතිකාර ගත යුතුයි. මුල් කාලයේ ඖෂධීය ප්‍රතිකාර ගැනීමෙන් රෝගය පාලනය කරගත හැකි වේ. වෛරස් හේතුවෙන් කෝඨරක දාහයක් ඇති වුවහොත් සාමාන්‍යයෙන් දින කිහිපයකදීම සුව අතට හැරෙයි. බැක්ටීරියා හේතුවෙන් මෙම කෝඨරක ප්‍රදාහයක් ඇති වුවහොත් ප්‍රතිජීවක ඖෂධ දිය යුතුයි. 

භෞත චිකිත්සක ප්රතිකාර කරන ආකාරය
මෙම රෝග සඳහා භෞත චිකිත්සක ප්‍රතිකාර ද තිබේ. එහෙත් එම ප්‍රතිකාර කරන්නේ දීර්ඝ කාලයක් මෙම රෝගයෙන් පීඩා විදින අයටයි. එවිට කරන්නේ භෞත චිකිත්සක ප්‍රතිකාර දින කිහිපයක් කර අවහිර වූ කෝඨර නැවත් විවෘත වීමට ඉඩ සැලසීමයි. එවිට රුධිර සංසරණය පටන් ගනී. එය මෙම ප්‍රතිකාර ක්‍රමයේ පරමාර්ථයයි. ඉන් කෝඨර ඇතුළේ එකතුව තිබූ ශ්‍රාව ඉවතට ගලා යයි. එසේම ඉන් බැක්ටීරියා මගින් ශ්‍රාවය ආසාදනය වීමද වළක්වයි. කෝඨර විවරයන් විවෘත වීමට මෙම ප්‍රතිකාර දින 3ක් 5ක් පමණ කළ යුතු වේ.

මෙම ප්‍රතිකාර මගින් කරන්නේ තෙතමනය සහිත වූ තාපය මගින් උණුසුම් කිරීමයි. එයින් පේශීන්වල ආතතිය අඩු වී පේශි සැහැල්ලු වී වේදනාව අඩු වේ.

එසේම මාංශ පේශි උද්දීපනය කිරීම තවත් ප්‍රතිකාරයකි. ඉන් රුධිර සංසරණය වැඩි වේ. එයින් මුහුණේ හා ඇස් වටේ ඉදිමුව, කළු පැහැය අඩු වේ. රුධිර සංසරණය තුළින් මුහුණේ කළු වූ ප්‍රදේශය කුමයෙන් යථා තත්ත්වයට පත් වේ. එනිසා ඇස් වටේ කළුවීම අපලයට හේ රුවට සිදු වූ හානියක් නොවන බව සිතිය යුතුයි. 

මෙම ලිපියේ සැකසුම භෞත චිකිත්සකවේදී (Physiotherapist) ආර්‍ර්.ටී.කේ.රාජපක්ෂ මහතා විසිනි. එම මහතා හමු වීමට හා සාක්ච්චා කර ගැනීම සදහා 071-7742598 අමතන්න.

එම මහතා චැනල් කර ගැනීම සදහා නාවින්න මෙඩිකෙයා රෝහලේ පාරිභෝගික සත්කාර ඒකකය අමතන්න.  0714367636 – 0774957636 – 0752367636 – 0114367636