ඔව් ඔබට පුලුවන් ජීවිතය දිනන්න Yes You Can!

ඔව් ඔබට පුලුවන් ජීවිතය දිනන්න

                       Yes You Can!

ජීවිතය හැමෝටම සාධාරණ නෑ.

කෙනෙකුට එහෙම හිතිලා තියෙන්න පුළුවන්.කෙනෙකුට එක විදිහක සතුට ලැබෙන කොට තවත් කෙනෙකුට තවත් විදිහකට වේදනාව ලැබෙන්නේ ඇයි?

මේකට කරුමය,අපි ලබා උපන් හැටි,පෙර කරපු පව් කිය කියා නිදහසට කරුණු කියන පිරිස ඕන තරම් අද සමාජය අපිට හම්බ වෙලා තියෙනවා.ඇත්තටම මෙහෙම වෙන්න හේතුව මොකක්ද?

තමන්ට මොනතරම් කරදර ආවත් කුමන ව්‍යසනයකට මුහුණ දීලා ඇතත් ඒ අවස්ථාවේ තමන්ට තියෙන එක හෝ දෙයක් ගැන හිතලා සතුටු වෙලා ජීවිතය සාර්ථක කරගත් මිනිසුන්ගේ කතා අපි අහලා තියෙනවා.එයාලව සාර්ථක කලේ ඒ වෙලාවේ එයාට සාර්ථක වෙනවා ඇරෙන්න වෙන කිසිම විසඳුමක් නැති නිසා.

ඒකට හොඳම උදාහරණයක් තමයි හෙලන් කෙලර්, වයස අවුරුද්දක් වෙනකොට වැලඳෙන රෝගයක් නිසා ඇයට දෙනෙත් ආසාවන් අහිමි වෙනවා.පසුව කතා කරන්නට පවා අමතක වෙනවා.මේ සියල්ල හමුවේ ගුරුතුමියගේ මගපෙන්වීම මත සංඥා භාවිත කරමින් ඇය කතා කිරීමට පුරුදු වෙනවා.දෙනෙත් සහ සවන් අහිමි වූවත් සරසවි වරම් ලබනවා.පසුව ලෝක ප්‍රසිද්ධ කතුවරියක් බවට පත්වෙනවා.

මිනිස්සු ප්‍රශ්න වලට උත්තර නෑ කියලා ප්‍රශ්න එක්කම ගිලෙද්දි සමහරු විසඳුම් හොයාගෙන පීනනවා.ජීවිතය අසාධාරණයි, ලෝකය අසාධාරණයි.අපි ඒකට හුරු වෙන්න ඕන.ඒක එහෙමයි කියලා කෑ ගහලා ඇඬුවා කියලවත් දෙවියන්ට විසඳන්න දීලා දෙයියන්ගෙම පිහිටයි කියලා ප‍රෙ නිදාගත්තටවත් අපිට ප්‍රශ්න නවත්තන්න බැහැ.

එහෙනම් හොඳම දේ මොකක්ද, හොඳම දේ තමයි තමන්ට නොලැබෙන දෙයක් වෙනුවෙන් දුක් විඳිනවට වඩා ලැබිලා තියන දේවල් වලට ස්තූති කරලා අවස්ථාව අනුව හැඩ ගැහෙන එක.අසුබවාදී සිතුවිලි වලින් අපිට වෙන හානිය ගැන දන්නවනම් කෙනෙක් අසුබවාදී සිතුවිලි හිතන්න බයයි.

ලෝකය අසාධාරණයි කියලා කේන්තිය පාලනය කරගන්න බැරුව අපි හැඬුවත් කාට හරි බැන්නත් එකෙන් හානි වෙන්නේ අපිටමයි.ඒ හැම දෙයක්ම අවසාන වෙන්නේ කිසිම තේරුමක් නැති සිතුවිලි සමග.ඒ අවස්ථාව අනුව හැඩ ගැහෙන්න නම් ඊට පුහුණු කරපු හික්මූ මනසක් තියෙන්න ඕන.කේන්ති ගන්නවා කියන්නේ හරියට ඔයා වස බීලා වෙන කෙනෙක් මැරෙනකම් බලන් ඉන්නවා වගේ වැඩක් නේද?

අපිට සිද්ධ වෙච්ච දේවල් කියන්නේ අපි ගත්ත තීරණ වල ප්‍රතිඵලයක්.අතීතයේ ගිහින් ජීවත් වෙන්න කාටවත් බෑ.අතීතයේ ගිහින් අසාර්ථක වෙච්ච කවුරුත් මේ ලෝකෙ නෑ.අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන ඒවා අත්දැකීමක් කරගෙන අනාගතය ලස්සන කරන්න අපි හුරු වෙන්න ඕන. තමන් අද ඉන්න තැනට වගකිවයුත්තේ තමන්මයි.කවුරුත් අපි වෙනුවෙන් ඇවිදගෙන යන්නේ නැහැ.හරි පාර හොයාගෙන ඒක දිගේ තනියම ඇවිදින්න අපිට සිද්ධ වෙනවා.සමහර විට හරි පාර හොයාගන්න අපිට වැරදි පාරවල් ගානේ නිකරුනේ ඇවිදින්න සිද්ද වෙනවා.ඒ හැම දෙයක්ම ජීවිතේට ඇත්දැකීමක් කරගන්න.පුළුවන් නම් ඒ අත්දැකීමක් කාට හරි කියල දෙන්න.හැබැයි පසුතැවීම කියන්නේ හරියටම පැද්දෙන පුටුවක් වගේ.ඒක අපිට ඉන්නගමන් කරන්න තියෙන කිසි තේරුමක් නැති වැඩක්.සෘණාත්මක සිතුවිලි තරම් ඔබට හානි කරන්න වෙන කිසිම දේකට බෑ.මේ සිතුවිලි තමයි වචන වෙන්නේ.මේ සිතුවිලි තමයි ක්‍රියාවන් වෙන්නේ.මේ ක්‍රියාවන් තුළින් තමයි නරක පුරුදු ඇති වෙන්නේ.ඒ නරක පුරුදු දිගින් දිගටම කරගෙන ගියොත් ඒක ඇබ්බැහිවීමක් වෙලා ජීවිතේම වෙනස් කරනවා.

හොද සිතුවිලි වැපුරුවොත් හොඳ ක්‍රියා සහ හොද පුරුදු ඇතිවෙලා හොඳ ජීවිතයක් අපට ලැබෙනවානේද? තමන්ට මොනතරම් අවාසි සහගත තත්ත්වයක වුවද සුබවාදී ව සිතීමට පුරුදු වෙන්න.අපි බිය වෙන්න ඕන අතීතයේ වෙච්ච සිදුවීම් එක්ක තියෙන වර්තමානයට නෙවෙයි.එකෙන් වෙනස් කරන්න පුළුවන් අනාගතයට.අපිට සාර්ථක ජීවිතයක් වෙනුවෙන් අද අතාරින්න ඕන හැමදේම අතාරින්න.හිත හදාගන්න. එදාට පුළුවන් ඔයාට ජීවිතේට ශාප නොකර ආදරේ කරන්න.

 

මනෝ විද්‍යා උපදේශිකා
උදය ශස්ත්‍රි ගනේගොඩ

Nawinna Medicare Hospital, Nawinna,Maharagama

0714367636 0774957636 0114367636