විභාගයට අත්වැලක් exam-secrets

විභාගයට අත්වැලක්

විභාගය (Exam) යන වචනය දරුවන් තුළ පමණක් නොව වැඩිහිටියන් තුළ පවා තිගැස්මක් ඇති කරවන්නකි. විභාගයක් (Exam) ළං වන විට සිත තුළ යම් තිගැස්මක් ඇතිවීම ස්වාභාවිකය. එහෙත් විභාගය (Exam) යනු බිය විය යුතු දෙයක් නොවේ. විභාගය නිසා ඇතිවන තිගැස්ම උත්තේජනමය තත්වයෙන් ඔබ්බට ගොස් දිගින් දිගටම සාමාන්‍ය චර්යාවට බාධාවක් වන්නේ නම් එය අවධානයට ලක්විය යුතු තත්වයකි. මන්ද විභාග ආතතිය සෘජුවම විභාග ප්‍රථිඵල හා බැදී ඇති හෙයිනි. විභාගය  (Exam) සම්බන්ධයෙන් අහිතකර ආතතිමය තත්වයක් ගොඩනැගෙන්නේ කෙසේ ද?

විභාගය පුද්ගලයකුගේ ජීවිතයේ තීරණාත්මක ම සාධකය බව බෙහෝ දෙනා තුළ ඇති ආකල්පයයි. එහෙත් විභාගය (Exam) යනු ජීවිතයේ තවත් එක් කඩඉමක් විනා මුළු ජීවිතයම නොවේ. විභාගයට (Exam) මුහුණ දෙන්නේ එක් පුද්ගලයකු වූවත් එය සාමුහික ප්‍රයත්නයකි. එසේම ප්‍රථිඵලය (result) ද සාමුහික අපේක්ෂාවකි. ඒ අනුව දරුවන්ගේ ප්‍රථිඵල පිළිබඳ ව දෙමාපියන්ට, වැඩිහිටියන්ට හා සමීපතමයන්ට ඇත්තේ වෙනස් වූ අපේක්ෂාවන්ය. මෙම අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් දරුවන්ගේ හිස මත අවවාද, සන්සන්දනය කිරීම්, තර්ජන ස්වරුපයෙන් විශාල බරක් පැටවෙනු ඇත. වැඩිහිටියන් සිතන්නේ අවවාද, සන්සන්දනය කිරීම්, හා තර්ජනයන් මගින් දරුවා අභිප්‍රේරණය කළ හැකි බවයි. එහෙත් දරුවන්ට විභාගයට (Exam) මුහුණදීමටත් වඩා වැඩි අභියෝගයක් ව ඇත්තේ මෙම අපේක්ෂාවන් ඉටු කිරීමේ අභියෝගයයි. මෙවන් තත්වයක දී දරුවාගේ අවධානය විභාගය වෙතින් ගිලිහී යනු ඇත. එය නිරායාසයෙන්ම දරුවා තුළ ආතතිමය තත්වයක් නිර්මාණය කරනු ලබයි. පංති කාමරයේ දී විශිෂ්ඨ දක්ෂතා දක්වන දරුවන් විභාගයේ දී අසමත් වීමට බලපානු ලබන හේතු අතර දෙමාපියන් විසින් දරුවන්ට එල්ල කරනු ලබන පීඩනය ප්‍රධාන කරුණක් වෙයි.
අපොස සාපෙළ විභාගයට (Ordinary Level Exam)ආසන්නයේ දරුවකු සිය මව සමඟ මාවෙත පැමිණියේ චෝදනා කීපයක් සමගිනි.
1 පාඩම් කරන දේවල් මතක නෑ (1 I don’t remember the things I study)
2 නිතරම කේන්ති යනවා
3 නිතරම අත් සෝදනවා
4 බාත් රූම් එකේ පැය දෙකකට වඩා වැඩි වේලාවක් ගත කරනවා
දරුවාගේ පියා විදේශයක සේවය කරන අතර දරුවන්ගේ සියලු වගකීම් ඔහු සිය බිරිදට පවරා ඇත.“ අපේ තාත්තා හරි සැරයි. අම්මත් ලොකු පීඩනයක ඉන්නේ. අපිට නිදහසේ ගමනක් යන්නවත් නෑ. තාත්තා ඒවා තහනම් කරලා තියෙන්නේ. අපේ වරදකට අම්මා හරියට බැණුම් අහනවා. අම්මා අම්මගේ පීඩනය අපේ පිටින් යවනවා. විභාගයට  (Exam) මම හරිම බයයි. මම අසමත් උනොත් තාත්තා අම්මට මොනවා කරාවිද කියලා හිතෙනවා. තාත්තා කියලා තිබුනා මේ පාර විභාගය අසමත් උනොත් මාව පවුලෙන් අයින් කරනවා කියලා. පොතක් අතට ගද්දි මේවා මතක් වෙනවා. මට හරි බයයි. මාව පිච්චෙනවා වගේ. විභාගෙට කළින් මට මොනව හරි වෙනවනම් හොදයි කියලා හිතෙනවා.”
මෙවන් තත්වයකදී පාඩම් කිරීමට, මතක තබා ගැනීමට සුදුසු කායික හෝ මානසික තත්වයක් දරුවා තුළ ගොඩනැගෙන්නේ නැත. දෙමාපියන් හා වැඩිහිටියන් විසින් ඇති කරන ලද පීඩනය දරුවාට අහිතකර විභාග ආතතියක් නිර්මාණය කර ඇත.
උසස්පෙළ ආසන්නයේ (Advanced Level Exam) තවත් දරුවකු පැමිණියේ “මගේ මතකයේ මුකුත් නෑ. හරියට සුදු කොළයක් වගේ. අඩුම තරමේ මට මගේ විෂයයන් ටිකවත් මතක නෑ.” ඇය අපොස සාපෙළ (Ordinary Level Exam) විෂයයන් නවයටම A සාමාර්ථ ගත් සිසුවියකි. උසස්පෙළ විභාගයෙන් (Advanced Level Exam) “Island Rank ” එකක් තැබීම ඇයගේ අපේක්ෂාව විය. දෙමාපියන්, ගුරුවරුන් මෙන්ම යහළු යෙහෙළින්ගේ විශ්වාසය වූයේ ඇය “Island Rank ”එකක් තබන බවයි. ඇය ඉතා විශ්වාසයෙන් විභායට සූදානම් වූවාය. එහෙත් දිනක් ඇය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අධ්‍යනය කිරීමේ දී එයට සාර්ථකව පිළිතුරු සපයා ගැනීමට අපොහොසත් විය. ඇය බොහෝ දුක් විය. “අම්මේ මම B තුනක් ගත්තට කමක් නැද්ද? “Island Rank ” තියන්න හිටපු කෙනා ඇයි මේ B තුනක් ගැන කථා කරන්නේ” අම්මා එහෙම අහද්දි මාව සීතල උනා. මම තව පේපර්ස් කරා ඒවත් එහෙමයි. එන්න එන්න ලකුණු අඩු වුනා. මට “Island Rank ” තියා Exam ගොඩ යන්නවත් බැරිවෙයි කියලා හිතුණා. මාව විශ්වාස කරපු හැමදෙනාම පිළිකුලෙන් මං දිහා බලන් ඉන්න හැටි මට මැවිලා පෙනුනා. මගෙ මතකය එන්න එන්නම අඩුවුනා. අනේ දැන් මට මුකුත් මතක නෑ.” අවශ්‍ය මානසික ප්‍රතිකර්ම යෙදීම මත දරුවා සුවපත් විය. එසේම ඇය ඊට පසු වර්ෂයේ උසස්පෙළ විභාගයට පෙනී සිට A සාමාර්ථ තුනක් සමගින් විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබුවාය. මෙහි දී ඇය විසින් සහ අනෙක් බාහිර පාර්ශවයන් විසින් විභාගය පිළිබඳ දැඩි බලාපොරොත්තු තබා ගෙන තිබුණ ද ඉවසීමේ, දරා ගැනීමේ හා කම්පනයකින් පසු යළි යථා තත්වයට පත්වීමේ ශක්තිය ඇය වෙත නොතිබුණි. විභාගයක් සමත්වීම සඳහා ඉලක්ක හා අරමූණූ පිහිටුවා ගැනීම අත්‍යාවශ්‍ය වේ. එම අරමුණු හා ඉලක්ක පිහිටුවා ගත යුත්තේ තමා සතු දක්ෂතා, හැකියාවන් හා කුසලතාවයන් සැලකිල්ලට ගෙන වන අතර එම අරමුණු හා ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් තමා සතුව තිබිය යුතු දක්ෂතා, හැකියාවන් හා කුසලතාවයන් වර්ධනය කර ගැනීම මෙන්ම දුර්වලතා හඳුනගෙන ඉන් මිදීමද ද අනිවාර්යයෙන් කළ යුතුය.
විවිධ වූ හේතු නිසා විභාගය ආතතියක් (Exam stress) වූ දරුවන් විභාගය ආසන්නයේ දී විවිධ වූ කායික හා මානසික පීඩාවන්ට ලක් වේ. දැඩි හිසරදය,(severe headache) අතපය වේදනා,( Limb pain)දෙඅත් කොරවීම,(Lameness of hands) සිහි මුර්ජාවීම,(fainting) අමතකවීම,(oblivion) ගොතගැසීම,(stuttering) අධික කෝපය,(extreme anger) අවධානය ගිලිහීයාම,(Loss of attention) හුස්ම ගැනීමේ අපහසුතා (Breathing difficulties) දරුවන් වෙතින් බහුලව දක්නට ලැබෙන රෝග ලක්ෂණයන් ය. විභාග ප්‍රථිඵල මත සිය දිවි හානිකර ගන්නා දරුවන් සමාජය තුළ අතීතයේ දී මෙන්ම වර්තමානයේ දී දක්නට ලැබේ. එසේනම් වෙනස්විය යුත්තේ කොතැන ද? තරඟකාරී අධ්‍යාපන රටාව, ලකුණු මත පදනම් වූ විභාග ක්‍රමය, රැකියා වෙළද පොළ, විෂය අන්තර්ගතය, ආදී තවත් බොහෝ කේෂත්‍ර ඒ අතර වෙයි. ඒ සමඟම දරුවා මෙන්ම දෙමාපිය වැඩිහිටියන් විභාගය සම්බන්ධයෙන් දක්වන ආකල්පයන්හි ද පැහැදිලි වෙනසක් සිදුවිය යුතුය. දෙමාපියන් වන ඔබ, ඔබට ළඟාවීමට නෙැහැකි වූ ඉසව්වට දරුවන් ළඟා වනු දැකීම අපේක්ෂා කරනු ඇත. එසේම ඔබ බොහෝ දුක්විද සියල්ල කැප කොට දරුවන්ගේ ජයග්‍රහණ බලාපොරොත්තුවනු ඇත. ඔවුන් ඉහළ වෘත්තිකයන් වනු දැකීමට ඔබ තුළ නොනිත් ආශාවක් පවතිනවා ඇත. මේ සියල්ල සාධාරණය. එහෙත් අසාධාරණ වන්නේ එය අපේක්ෂා කරන ආකාරයයි. ඔබගේ එම අපේක්ෂාවන් තිබිය යුත්තේ දරුවන්ට පීඩනයක් ගෙන දීම සඳහා නොව ඔවුන් අභිප්‍රේරණය කිරීම සඳහාය. ඔබ දැනටමත් ඔබේ දරුවාගේ විභාග ජයග්‍රහණයන් වෙනුවෙන් බෙහෝ දෑ කැප කොට ඇත. එම විශාල කැපකිරීම් අතර පහත සදහන් සුළු කැපකිරීම් පවතින්නේ දැයි මදක් විමසා බලන්න.
1 සමබර ආහාර වේලක් නිවැරදි වේලාවට සපයාදීම
2 අවශ්‍යපරිදි වතුර පානය සදහා යොමු කිරීම
3 පැය 6කවත් සැපවත් නින්දක් සදහා අවස්ථාව සැලසීම
4 පාඩම් කිරීමට සුදුසු නිදහස් පරිසරයක් සකස්කොට දීම
5 ආර්ථික හෝ වෙනත් එවැනි පවුලේ ගැටළු වලින් දරුවා හෙම්බත් නොකිරීම
6 තමාගේ ආවේග පිටකිරීමට දරුවන් යොදා නොගැනීම
7 දරුවන්ගේ කායික මානසික අවශ්‍යතා තේරුම් ගැනීම
8 සමවයසේ දරුවන් ඇසුරුකිරීමට, ක්‍රීඩා කිරීමට දිනකට පැය භාගයක කාලයක්වත් වෙන්කර දීම
9 විනෝදාංශ සඳහා අවස්ථාව සලසාදීම
10 හැකිතාක් නිවස අඩදබර වලින් තොරව තබා ගැනීම

විභාගය  (Exam) ජය ගැනීම සඳහා සුදානම් විය යුත්තේ කෙසේද
නිවැරදිව විභාගයට සුදානම්විය යුත්තේ විභාගයට සතියකට දෙකකට පෙර සිට නොව එම විභාගයට  (Exam) අදාළ විෂය කරුණු ඉගෙනීමට පටන් ගන්නා මුල් අවස්ථාවේ සිටය. මන්ද විභාගයකට පෙනී සිටීම යනු පියවර කීපයක එකතුවක් නිසාවෙනි. සීමිත කාලයක් තුළ දී විෂය කරුණු විමසන ප්‍රශ්ණ පත්‍රයට පිළිතුරු සැපයීම එම ක්‍රියාවලියේ අවසාන පියවර වන්නේය. එහෙත් ආත්ම ශක්තිය සමඟ නිදහස් මනසිකින් යුතුව විද්‍යානුකූල හා මනෝවිද්‍යාත්මක නිවරදි ක්‍රම භාවිතා කරන්නේ නම් කෙටි කාලයක් තුළ දී වුව ද විභාගය ජය ගැනීමේ හැකියාව ඔබ සතුව ඇත. ඉගෙනීමේ සිට ප්‍රශ්ණ පත්‍රයකට පිළිතුරු ලිවීම දක්වා වන කාර්යය සරලව පියවර හතරක් ඔස්සේ මෙසේ දැක්විය හැකිය.
1 විෂය කරුණු එකතු කිරීම
2 මතක තබා ගැනීම
3 ආවර්ජනය කිරීම
4 පිළිතුරු ලිවීම
මෙම පියවර හතර අවස්ථා හතරක් වශවෙන් නිරූපනය කළ ද එකිනෙකට එකක් සම්බන්ධ වන අතර විභාගයෙන් සාර්ථක ජයක් ලැබීමට නම් මෙම පියවර හතරම නිවැරදිව සම්පූර්ණ විය යුතුය. මෙම පියවරයන් ගේ ස්වභාවය දරුවාගෙන් දරුවාට වෙනස්වේ. එසේම එම පියවරයන් ක්‍රියාත්මක කිරීමේ දී එක් එක් දරුවාට සුවිශේෂී වූ කෙටි හා සරල මනෝ විද්‍යාත්මක ක්‍රමයන් ද පවතී.
විෂය කරුණු එකතු කිරීමේ දී වැදගත් විෂය කරුණු තෝරාගැනීම, ඒවා ගොනු කිරීම, යන පියවරයන් වඩා වැදගත් වේ. මතක තබා ගැනීම යන පියවරෙහි දී මතක තබා ගන්නා කෙටි ක්‍රම භාවිතා කිරීම, ඉක්මනින් මතක තබා ගැනීම, පහසුවෙන් ආවර්ජනය කළ හැකි සේ මතක තබා ගැනීම, හා කෙටි කාලීන මතකය හා දිගු කාලීන මතකය අතර දත්ත හුවමාරු කිරීම යන කරුණු වැදගත් වේ. ඉක්මනින් ආවර්ජනය කිරීම, නිවැරදිව ආවර්ජනය කිරීම හා අවශ්‍ය කරුණු සියල්ල ආවර්ජනය කිරීමේ හැකියාව ආවර්ජනය කිරීම යන පියවරෙහි දී ඔබ ලබා තිබිය යුතුය. එය මනා පුහුණුවකින් පසුව ඔබට හැකිවනු ඇත. පිලිතුරු ලිවීමේ දී ප්‍රශ්නය හොදින් අවබෝධ කොට ගැනීම, ප්‍රශ්නයේ සීමාවට අදාළ විය යුතු කරුණු තීරණය කිරීම, මතකයේ සිට එම කරුණු ආවර්ජනය කොට ගැනීම හා නියමික කාල සීමාව තුළ පිළිතුර ලිවීම අනිවාර්යයෙන් සිදුකළ යුතුය. ඉහත සියලු පියවරයන් මනස හා මොළය අතර බැඳුණු සංකීර්ණ ක්‍රියාවලියකි. මෙහි මුල් පියවර දෙක විභායට  (Exam) පෙර සපුරා තිබිය යුතුය. ආවර්ජනය කිරීම පාඩම් කරන කාලසීමාව තුළ වරින්වර මෙන්ම විභාගය ආසන්නයේ දී ද සිදුවිය යුතුය. අනවශ්‍ය පරිදි විෂය කරුණු එකතු කිරීම නිසා අත්‍යවශ්‍ය විෂය කරුණු මඟහැරී යනු ඇත. එබැවින් ඔබ ඉගෙන ගන්නා සහ පරිශිලනය කරන බොහෝ කරුණු අතුරින් අත්‍යවශ්‍ය කරුණු පමණක් තෝරා බේරා ගතයුතුය. එසේ තෝරාගත් කරුණු නිවැරදි ලෙස නිවැරදි ස්ථාන වල තැන්පත් කර ගත යුතුය. නො එසේ නම් ආවර්ජනය පියවර මෙන්ම පිලිතුරු ලිවීමේ පියවර ද අසාර්ථක වනු ඇත. ආවර්ජනය පුහුණූවීම මගින් විභාගයේ දී කරුණු එළියට ඇද ගැනීම පහසු හා ඉක්මන් වෙයි. දරුවකු විභාගය  (Exam) අසමත් වන්නේ හෝ අවශ්‍ය ප්‍රතිඵල නොලබන්නේ ඉහත කුමන හෝ පියවරක පවතින අඩුපාඩුවක් හේතුවෙනි.
විභාගයකින් පසුව දරුවන් නඟන පොදු චෝදනා කීපයකි.
“මම හොදටම දන්න දේවල් ඒ වෙලාවෙ මතක් කළා මතක් කළා මතක් වුනේ නෑනේ”
“උත්තරේ දන්නවා ඒත් හරියටම මතක නෑ වගේ”
“වෙලාව මදි උනා”
“සමහර ප්‍රශ්න කරකවල අතඇරිය වගේ”
ඇතැම් විට ඔබටත් මෙවැනි අත්දැකීම් තිබෙන්නට පුළුවන. මෙම චෝදනාවන්ට හේතු වන්නේ ඉහත පියවර හතරින් එකක් හෝ නිවැරදිව ක්‍රියාත්මක නොවීමයි. කෙසේ වුව ද විභාගයක් ආසන්නයේ දී අලුතෙන් කරුණු සෙවීම කිසිසේත් නොකළ යුත්තකි. ඔබ කළ යුත්තේ මතකයේ ඇති විෂය කරුණු පිළිවෙලකට ආවර්ජනය කිරීමත් අවශ්‍ය පරිදි කොළයක සටහන් කිරීමත් පමණි.
භාවිතා කරන ක්‍රමවේදයන් මෙන්ම දරුවන්ගේ මානසික තත්වය ද ඉහත ක්‍රියවලි කෙරෙහි සෘජුවම බලපානු ලබයි. නිවැරදිව සංජානනය කිරීම, නිවැරදිව අවබෝධ කර ගැනීම, තෝරා ගැනීම, තීරණ ගැනීම, නිර්මාණශීලිත්වය යන සාධක විභාගයකට  (Exam) පිළිතුරු සැපයීමේ දී අත්‍යවශ්‍ය සේ සැලකේ. මෙම සාධක නිසි පරිදි ක්‍රියාත්මකවීමට නම් දරුවා සමබර මානසිකත්වයකින් සිටිය යුතුය. බිය, කණස්සල්ල, පසුතැවීම කෝපය, කලකිරීම, අවිනිශ්චිතබව මානසික පීඩාකාරී හා තර්ජනාත්මක තත්වයන් සේ සැලකේ. මෙවන් තත්වයක දී මානසික ඒකා්‍රතාවය බිදී ගොස් සටන් කිරීමේ හෝ පළායාමේ අවස්ථාවකට කයත් මනසත් සූදානම් කරයි. දිගින් දිගටම මෙම තත්වය පැවතීම හානිදායක වන අතර ඉන් දරුවා නොසන්සුන්තාවයට පත්වේ. නොසන්සුන් මනසකින් කිසිසේත්ම විභාග ජයක් අපේක්ෂා කළ නොහැකිය. මෙම තර්ජනාත්මක අවස්ථාවේ දී ස්වයං ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් හිසරදය, අතපය හිරිවැටීම, අතපය කොරවීම, බඩේ අමාරු, සිහි මුර්ඡාවීම, මතකය අහිමිවීම, ගොළුවීම, ආදී තත්වයන් ඇතිවිය හැකිය. විභාගය  (Exam) අවසන්වීමත් සමඟ ක්‍රමයෙන් මෙම තත්වයන් පහව යයි. විභාගයක්  (Exam) ආසන්නයේදී මෙවන් තත්වයක් ඇතිවන්නේ ඇයි? විභාගයක් යනු ඕනැම පුද්ගලයෙකුට ආතතියක් ඇති කරවන සිද්ධියකි. එය විභාගයට සූදානම්වීම සඳහා වන අභිප්‍රේරණයකි. ඔබ තුළ ඇති වූ මෙම අභිප්‍රේරණය ඔබ ක්‍රියාවට නොනැගුවහොත් ඉතිරිවන්නේ ආතතිය පමණකි. මෙම තත්වය දිගින් දිගටම පැවතීම හේතුවෙන් ඉහත සඳහන් කළ ආකාරයේ කායික හා මානසික රෝගී තත්වයන් ඇතිවිය හැකිය. කෙසේ වුව ද විභාගය  (Exam) යනු ජීවිතයේ ඔබගේ දක්ෂතා පෙන්වීමට ලද අවස්ථාවකි. ඉන් උපරිම ප්‍රථිපල ලබා ගැනීමට ඔබට ශක්තියක් ඇත. මේ ඔබේ අවස්ථාවයි. සාර්ථකව එයට මුහුණ දෙන්න.
පහත ක්‍රම අනුගමනය කිරීමෙන් ඔබට නිදහස් මනසකින් යුතුව විභාගයට  (Exam) පෙනී සිට ජය ලැබීමට උපකාර වනු ඇත.
1 විභාගය සම්බන්ධයෙන් ඔබට ඇති ඉලක්ක, අන් අයගේ අපේක්ෂාවන්, තර්ජන හා බාධාවන් අභිප්‍රේරණයන් සේ සලකන්න.
2 මනස සන්සුන් කරවන සංයම අභ්‍යාස වල නිරතවන්න.
3 පැය 6 කවත් නින්දක් ලබා ගන්න.
4 නිවැරදි වේලාවට නිවැරදි අහාර රටාවන් අනුගමනය කරන්න.
5 නිදහස් බව පවත්වා ගැනීම සඳහා පවුලේ සහය පතන්න.
6 පැය බාගයකවත් කය වෙහෙසන ක්‍රීඩාවක නිරතවන්න.
7 අලුත් මිතුරන්, නව සබඳතා ඇරඹීමෙන් වළකින්න.
8 පාඩම් කිරීම සඳහා තමාට පහසු වේලාවක් තෝරාගන්න.
9 තමා කැමති පහසු ස්ථානයක් ඒ සඳහා වෙන්කරගන්න.
10 පාඩම් කරන පරිසරය නිතරම පිළිවෙලට හා පිරිසිඳුව තබාගන්න.
11 උදෑසන අවදි වූ විට ඇදෙන් බැසීමට ප්‍රථම එදින සැලැස්ම සිතෙන් පිලියෙල කරන්න.
12 නින්දට යාමට පෙර ගත වූ දවස පිලිබද ආවර්ජනයක යෙදෙන්න.
13 උදෑසන අවදි වූ විටත්, නින්දට යාමට පෙරත් තමා විභාගයෙන් ජය ලබා සිටින ආකාරය සිතින් මවාගන්න.
14 පසුදිනට අවශ්‍ය සියලු දේ පිළියෙල කොට තබා නින්දට යන්න.
15 විභාග  (Exam) ශාලාවේ වාඩි වූ පසු තමා අතට ප්‍රශ්නපත්‍රය ලැබෙන තුරු දෑස් වසාගෙන සරල ශ්වසන අභ්‍යාසයක නිරතවන්න. (එය බාහිර උත්තේජනයන්ගෙන් ඈත්ව ඔබගේ අවධානය මතකය වෙත ගෙන යාමට පහසු වනු ඇත)
16 ඇතැම්විට සියල්ල අමතක වී ඇති සේ ඔබට දැනෙනු ඇත. එහෙත් කළබල නොවන්න. කැළඹුණු වතුර වළක පතුලෙහි ඇති දෑ පෙනෙන්නට යම් වේලාවක් ගතවන්නා සේ මතකයේ ඇති දෑ සෙමෙන් සිහිපත්වන්නට පටන්ගනු ඇත.
17 බලෙන් නොව සැහැල්ලුවෙන් ආවර්ජනයෙහි යෙදෙන්න.
18 යම් කරුණක් අමතක නම් කලබල නොවී ඊට ඉඩතබා වෙනත් ගැටළුවකට යන්න. වරින් වර ඒවාට පිලිතුරු සිහිපත්වන බව සිතන්න.
19 මනසට යම් පීඩාකාරි බවක් දැණුනහොත් මදවේලාවන් දෑස් පියාගෙන ශ්වසන අභ්‍යාසයක නිරතව සිට යළිත් ලිවීම අරඹන්න.
20 විභාගය (Exam)  සම්පූර්ණයෙන්ම අවසන්වන තුරු එක් එක් විෂයට තමා ලියූ පිලිතුරු වල නිවැරදිතාවය සෙවීමෙන් වලකින්න.
21 විභාගය (Exam) යනු මුළු ජීවිතයම නොව ජීවිතයේ එක් කඩුල්ලක් පමණක් බව සිතන්න.

ඔබට ජය
Dr. Mrs. Chamara Liyanage
Ph.D. MA, PG Dip in Psychology & Counseling, PG Dip In Criminology, BSc, BA, Diploma in early childhood development, CTHE(Teaching in higher education).